Wednesday, October 24, 2018

එදිනෙදා ඇහෙන බොරු | Lies, Lies and Lies




"කියවීම මිනිසා සම්පූර්ණ කරයි"
====================

කියවීම වැදගත්ය. නමුත් ඊට වඩා වැදගත් වන්නේ කියවන්නේ කුමක්ද, කියවන දේ විශ්ලේෂණය කරන්නේ කෙසේද යන කාරණාය.

බොහෝ තැන් වලදී මෙන්ම අවසානයේ මෙහිදීද වැදගත් වන්නේ චින්තන ක්‍රමයේ වැදගත්කම මිසක වචන දහස් ගණනක් කියවා ඔලුව පුරවගෙන දැනටම තමන් දරනා මතයන් තහවුරු කරගැනීම නොවේ.

"ඉගෙන ගන්න දෙයක් කවදාවත් අපතේ යන්නේ නෑ"
==================================

ඉගෙන ගත් දෙයින් පලක් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකිව දුක්ඛිත ජීවිත ගත කරනා මිනිසුන් ඕනෑ තරම් සිටියි. ඔවුන්ට සිදුව ඇත්තේ ඉගෙනගත් දේ අපතේ යනවා දැක දැක අල්මාරි වල සහතික ගොඩගසාගෙන සුසුම් හෙළමින් ජීවිත ගත කරන්නටය.

යම් විෂයක්, දර්ශනයක්, වෘතියක් ගැන ඉගෙන ගැනීම හොඳය. ඒ වගේම ඒ ඉගෙනගත් දේ ප්‍රයෝජනයට ගන්නේ කෙසේද යන කරුණද ඉගෙනගත යුතුය.

ඉගෙනීමෙන් ඉෂ්ඨ කෙරෙන්නේ ජීවිතයේ එක් කොටසක් සංතෘප්ත කිරීමක් පමණි. ඉගෙනීම තුළින් අදාල අංශයක ඉහලටම ගියද සාමාන්‍යය ජීවිතය ගැටගසාගත නොහැකිව, තමන් වටා ඉන්නා මිනිසුන් සමඟ කටයුතු කිරීමට ඇති නොදැනුවත්කම නිසා ජීවිත අපායන් කරගත් බොහෝ දෙනෙක්ව පුද්ගලිකවම හඳුනමි.

අනෙක් කරුණ, කොපමණ ඉගෙනගෙන ඉහළට ගියද, අපේ වැනි රටක නම් සිදුවන්නේ තමාට ඉහළින් සිටිනා අයගේ පශ්චාත්භාගය සිඹිමින් හෝ තම බොසාගේ අණට කීකරු වෙමින්, ඔහුගේ හිනා නොයන විහිලු වලට හිනා වෙමින්, ඔහු කියනා සෑම මෝඩ තකතීරු කතාවකටම නිහඬව ඔලුව වනමින්, තමාට හිමි නිවාඩුව ගැනීමටද ඔහු ඉදිරියේ දෙකට නැමෙමින් තම ආත්මයම මාසය අවසනයේ ලැබෙන පඩිය වෙනුවෙන් විකුණා දැමීමටය. මෙවන් රැකියාවක් කිරීමෙන් ඇති හොඳ නම්, තමාගේ පවුල තුළ සහ නෑදෑයන් අතර තමා උගතකු ලෙස මහත් පිළිගැනීමට ලක් වීමයි. ඔවුන් ඔබ රාජකාරී කරන තැන ගෙවනා කුජීත නිවට ජීවිතය ගැන දන්නේ නැත. එසේම ඔබේ බොස් හෙවත් 'සර්' ඉදිරියේ දියවී යන අභිමානය ඔබේ නිළයට වඩා පහළින් සිටින ඔබ වැනිම උගතෙක් පිටින් යවා ඔහුට සැර දමා ලොකු කම් පෙන්නා ඔබේ පීඩනය නිදහස් කර ගැනීම මඟින් රැක ගත හැක.

මේ කතාව මෙසේ වෙනස් විය යුතුය.

"ඉගෙන ගැනීමෙන් ජීවිතයට මහා ලොකු හොඳක් සිද්ධ වන්නේ නැත. ජීවිතය කොහොමත් කුජීතය. නමුත් ඉගෙන නොගෙන සිටීමට වඩා යමක් ගැන ඉගෙනගෙන සිටීම හොඳය"

"කොයි දේ වෙන්නෙත් හොඳට"
====================

අනාගතය ගැන සුභවාදීව බලන්නට අපේ මනස ස්වභාවයෙන්ම සකස් වී ඇති බව සැබවකි. නමුත් අනාගතය සැමවිටම සුභදායක බව ඉන් නොකියවේ.

කුමන අභාග්‍යයක් සිදු වුවත් අවසානයේ හොඳක්ම සිදුවීමට ජීවිතය යනු බොලිවුඩ් චිත්‍රපටයක් නොවේ. මෙවැනි අදහස් පදනම් වන්නේ හරි වැරැද්ද, හොඳ නරක සමබර වී අවසානයේ හොඳ ජයගැනීම සහතික කරනා අද්භූත බලවේගයක් ලොව ක්‍රියාත්මක වේය යන මිනිසුන් තුල ඇති මිත්‍යා මතයයි. නැත. සියලුම දේ වන්නේ හොඳටවත් නරකටවත් නොවේ.

මිනිසුන්ට එක් එක් දේ සිදු වෙයි. මිනිසුන් කරන්නේ ඒවාට හොඳ හෝ නරක ලෙස අර්ථ දැක්වීම් ලබා දීම පමණි.

"පුංචි ළමයි මල් වගේ"
==============

අමූලික බොරුය. පුංචි ළමයෙක් "හා.. හූ.... බී... මී.." ගෑවද ඒ හැසිරීම කෙරේ ලයාන්විතව ආදරයෙන් බැලීමට අපව ස්වභාවයෙන් නිර්මාණය වී ඇත. එය සැබවකි. නමුත් පුංචි ළමයින්ගේ සියලු ක්‍රියාකාරකම් ලයාන්විත ආදර බර සුරතල් බව ඉන් නොකියවේ.

පොදුවේ පුංචි ළමයින් යනු ආත්මාර්ථකාමීත්වයේ අග තැම්පත් ජීවීන් කොටසකි. ඔවුන්ගේ මනස වර්ධනය වී නැති නිසා හැඟීම් පාලනය කරගැන්මට හැකියාවක් ඔවුනට නැත. හැකි සෑම විටම ඇඬීම හෝ ලජ්ජා කිරීම හෝ වැඩිහිටියන් අපහසුතාවයට පත් කිරීම මඟින් තමාට ඇවැසි දේ කරගැනීමට රුසියෝය, පුංචි ළමයි.

පාසලේදී, පන්තියේදී රංචු පිටින් එක්ව ස්වභාවයෙන් පසුගාමී ළමයින්ව බුලි කිරීමට ලක් කරන්නේද, කටට එන අනේක විද බොරු බේගල් ඇද බාන්නේද මේ මල් වගේය කියනා පුංචි ළමයින්ය.

වැඩිහිටියන් ගැන පුංචි ළමයින් කියූ බේගල් නිසා ජීවිත උඩු යටිකුරු වී විනාශ වූ අවස්ථා ලෝකයේ ඕනෑ තරම් වාර්ථා වී ඇත. මේ කීවේ පොදුවේ පුංචි ළමයින් ගැනය.

එසේම කුඩා සතුන් වධ හිංසාවට ලක් කිරීමෙන් සතුටු වන, සෙල්ලම් බඩු විනාශ කිරීම, වැඩිහිටියන් තමන්ට කීකරු නොවන අවස්ථා වලදී තමන් මත මුත්‍රා මලපහ පිට කරගෙන වැඩිහිටියන්ට හිතා මතාම කරදරයක් වන, විනාශකාරී මනෝව්‍යාධික (psychopathic) පුංචි ළමයින්ද සිටියි.

ඔබට තවත් සැක නම් මොහොතක් නැවතී සිතන්න. කුමන පුංචි ළමයාටද "පුතේ ඔයා ඔයාගේ සෙල්ලම්බඩු අනෙක් ළමයින් එක්ක බෙදාගන්නවා වැඩියිනෙ.. ඔහොම ගියොත් ඔයාට සෙල්ලම්බඩු නැතුව යනවනෙ.. ඔයාටත් ටිකක් තියාගන්නකො.." කියා ඉගැන්විය යුත්තේ? නැත. පුංචි ළමයින්ට ඕනෑ ඔක්කොම තමාටය. අනෙකාගේ දේද තමාටය.

සියලූම කාරණා මෙසේ වෙද්දී තව දුරටත් පුංචි ළමයි මල් වගේ කියනවා නම් ඒ මල් ජාතිය ලස්සන, එහෙත් අමුතුම විසකුරු මල්ජාතියක්ම විය යුතුය.

"කලාකරුවන් කියන්නේ සංවේදී පිරිසක්"
==========================

අමු කෙප්පයකි. ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කලාකරුවන් සැලකුවහොත් ඔවුන්, ඔවුන් වටා ඇති මිනිස් හැසිරීම් හා හැඟීම් ගැන ඉතාම සංවේදී වී ඇති බව නම් සැබෑවක් බව නිරීක්ෂණය කල හැක. ඩොස්ටොයෙව්ස්කි, ටෝල්ස්ටෝයි, හෙමින්ග්වේ, ශේක්ස්පියර් වැනි කලාකරුවන්ගේ නිර්මාණ සලකන විට, ඔවුන් මිනිස් මනස සහ මිනිස් සමාජය කොයි තරම් නම් කියවා ඇත්ද යන්න පුදුම සහගතය.

නමුත් සියලු කලාකරුවන් තමන් අවට ලෝකය ගැන සංවේදී බවවත්, හරිම අහිංසක සුකුමාල මිනිසුන් පිරිසක් බවවත් ඉන් නොකියවේ.

කලාකරුවන් කියන්නේ සංවේදී පිරිසක්, යන ටොම් පචය නූතන කලාකරුවන් විසින් තමන් අනෙක් මිනිසුන්ට වඩා වෙනස්, වෙනම තලයක ඉන්නා පිරිසක් බව තමන්ටත් අනෙක් මිනිසුන්ටත් තහවුරු කරගැනීමට හදාගත් බේගලයකි.

ඔවුන්ගේ ඇති විශේෂ සංවේදී බවක් නැත. ඔවුනුත් අනෙක් මිනිසුන් සේම නරුමයෝය. ආත්මාර්ථකාමියෝය. අවස්ථාවාදියෝය. තක්කඩියෝය. වෙනසක් ඇත්නම් ඒ ඔවුන් මෙවන් බේගල් ඇදබාමින් හම්බකරන මුදල් කිසිම සැලසුමකින් තොරව වියදම් කරමින් නාස්තිකාර ජීවිත ගතකොට, ජීවිතයේ අවසන් කාලයේදී සමාජයෙන් 'වින්දනීය හිලව්' නාමයෙන් 'අපි උඹලව සන්තෝස කලා.. කෝ උඹලා දැන් අපි ගැන බලන්නෙවත් නැද්ද.. අපි අසරණ වෙලා..' කියමින් නිර්ලජ්ජිතව හිඟමන් යැදීම පමණි.

"ඔබේ නිදහස ප්‍රශ්න කිරීමට කිසිවෙකුට අයිතියක් නැත"
====================================

කෙනෙක්ගේ නිදහසට අභියෝග කිරීමට කෙනෙක්ට අයිතියක් නැති විය හැක. නමුත් ඕනෑම කෙනෙක් තමන්ගේ නිදහස පාවිච්චි කරමින් කරන්නේ කුමක්ද කියා ප්‍රශ්න කොට එහි හොඳ නරක, සුදුසු නුසුදුසු බව සාකච්ඡා කිරීමට නම් ඕනෑ කෙනෙක්ට අයිතියක් ඇත.

උදාහරණයක් ගන්න. කෙනෙක්ට කැමති නම් කොටට ඇඳිය හැක, ජංගි ගහගෙන ස්ටේජ් වල නැටිය හැකිය, නිකාබයන්, අබායා, හිජාබ් ඇඳිය හැකිය. ඒ ඔවුන්ගේ නිදහසය. ජංගි ගහගෙන ස්ටේජ් වල නටන අයට ගල් ගසන්නටවත්, හිජාබ් ඇඳගෙන පාරේ යන අයට හූ කියන්නවත් නුසුදුසුය. නමුත් කෙනෙක් ජංගියක් ගසාගෙන නිරුවත පෙන්වමින් ස්ටේජ් එකක නටන්නට මුල් වන චින්තනයද, කෙනෙක් හිජාබයක්, නිකාබ් එකක්, බුර්කාවක් ඇඳීමට තීරණය කරන සමාජීය චින්තනයද ඕනෑම කෙනෙකුට ප්‍රශ්න කල හැක. ප්‍රශ්න කල යුතුය.

මන්ද, මිනිසුන්ගේ කැමති අකමැතිකම් මත පදනම් වන සමාජීය හැසිරීම් "මම ගස්ලබු වලට වඩා අඹ අච්චාරු කන්න ආසයි" වැනි අභිරහස් පුද්ගල හැඟීම් නොව, සමාජීය ආකල්ප, වටිනාකම් මත නිර්ණය වන නිසාය. මිනිසුන්ගේ කැමති අකමැතිකම්, උවමනා එපාකම්, ආශාවල් යනු ලෝකය විසින් 'නිර්මාණය කරන ලද' ඒවා වන නිසාය.

එමෙන්ම සදාචාරාත්මක ගැටළු වලදීද 'ඒක මගේ නිදහසනෙ' තර්කය ඉදිරිපත් කරනා ගොන් මැට්ටන් ඇත. උදාහරණයකට මාංශ පිණිස සතුන් ඝාතනය කිරීම යන මාතෘකාව ගන්න. එය සදාචාරාත්මක ප්‍රශ්නයකි. 'ඒක මගේ නිදහස' යන තර්කයෙන් ඒ හැසිරීම සාධාරණීයකරනය කල නොහැක. එය එසේ කල හැකි නම්, ළමා විවාහ පිළිගන්නා සමාජ ක්‍රමයක "ඒක මගේ කැමැත්තනේ.. ඔයා අකමැති නම් ඔයා පොඩි ළමයි නොබැඳ ඉන්න" කියන එක සාධාරණ තර්කයක් විය යුතුය. මිනිසුන් වහලුන් ලෙස තබාගත් කාලයේ "වහලුන් තියාගන්න එක මගේ නිදහස. ඔයා අකමැති නම් ඔයා වහලුන් තියාගන්නෙ නැතුව පාඩුවෙ ඉන්න" යන තර්කය සාධාරණ තර්කයක් විය යුතුය.

මට සිගරට් බීමට නිදහස ඇත. එහෙත් සිගරට් බීමට කෙනෙක් පෙළඹෙන්නේ ඇයි? සිගරට් බීමේ ආදීනව මොනවද? සිගරට් බීම දිරි ගැන්විය යුතුද නැද්ද? යන ඉතාම වැදගත් මාතෘකා ගැන සමාජීය කතිකාවත් ඇති වීමද සිදුවිය යුතුය.

හැම ඉලව්වම 'නිදහස' ට ලඝු කිරීම පිස්සුවකි.

"ළමයෙක් හදන්න කාලෙ හරි නේද?"
=======================

බොහෝ දෙනාට දරුවන් හැදීම යනු සවිඥානිකව ගන්නා තීරණයක් නොවේ. ඔවුන්ට එය ඉපදීම, වැඩිවිය පැමිණීම, මහළු වීම වැනි ඉබේම සිදු වන දෙයකි.

විවිධ විෂම මිනිසුන් එකතුවකින් සැදී ඇති සමාජයක සියලූම දෙනාට විවාහ පත් වීමේ හෝ දෙමාපියන් වීමේ උවමනාවක් නැත. ඒ උවමනාව ඔවුන් වෙත පටවන්නේ සමාජය විසිනි. අඩුම තරමේ විවාහ නොවී සිටීමට, දෙමාපියන් නොවී සිටීමටද ඔබට හැකිය යන විකල්පයවත් සමාජය විසින් ඔවුනට ලබා දෙන්නේ නැත.

හැම පිරිමියෙක්ම ගැහැණියක්ම දෙමාපියන් වීමට සුදුසු නැත. බොහෝ දෙනා ළමයින් බිහි කරන්නේ එක්කෝ සමාජයේ උවමනාවටය. නැත්නම් නිරතුරුව පීඩනයෙන් සිටිනා තමන්ට අණ දීමට හැකි යම් කෙනෙක්, පාලනය කල හැකි යම් කෙනෙක්, නිරතුරුව කීකරු වන යම් කෙනෙක්, කම්මැලි වෙලාවට සෙල්ලම් කරන්නට සුරතල් කරන්නට යම් කෙනෙක්ගේ අවශ්‍යයතාවය ඇති නිසාය.

එවන් හැඟීමෙන් දරුවන් බිහි කරනා අය දරුවන් බිහි කිරීමට සුදුසු නැත. මනුෂ්‍යය සංහතියට ස්වාධීන, බුද්ධිමත් මනුෂ්‍යයෙක් දායාද කරනවා වෙනුවට මියෙන තුරා තමාට කීකරු දරුවෙක් පතන යමෙක් වේද, ඔහුගේ අවශ්‍යයතාවය හොඳින්ම ඉශ්ඨ කරගත හැක්කේ දරුවෙක් බිහි කිරීමෙන් නොවේ. බල්ලෙක් හැදීමෙනි.

අප සමාජයේ වර්තමානයේ ඇති ලොකුම පටලැවිල්ලක් නම් බල්ලන් අවැසි මිනිසුන් දරුවන් බිහි කර බල්ලන්ගෙන් බලාපොරොත්තු විය යුතු දේ දරුවන්ගෙන් බලාපොරොත්තු වීමය.

"වැඩිහිටියන්ට ගරු කල යුතුය"
===================

නැත. කථාව වැරදිය. ගරුත්වය යනු ඉබේ ලැබෙන දෙයක් නොව, උපයා ගත යුතු දෙයකි.

පාරට බැස බලන්න. දැන් මැදි වියේ පසුවන අපේ වැඩිහිටි පරපුර අපට උරුම කරදී ඇති සමාජය මොන වගේද කියා. හිංසාවෙන් ප්‍රශ්න විසඳිය යුතු යැයි සිතන, ලිංගික අසහනයෙන් පෙළෙන, අසහනකාරී, විනයක් නැති, ඉවසීමක් නැති, අනන්‍යයන්ගේ අයිතීන් නොඉවසන, දූෂණයෙන් පිරි, ජාතිවාදී, ආගම්වාදී සමාජයකි අප රටේ වැඩිහිටියන් අපට උරුම කර දී තිබෙන්නේ.

හරි නම් අප වැඩිහිටි පරපුර කල යුත්තේ අපගෙන් ගරුත්වය ඉල්ලීම වෙනුවට සමාව ඉල්ලීමය. අප රටේ සමාජයක්, සංස්කෘතියක් වශයෙන් ඇති අකාර්‍යක්ෂම, කම්මැලි, සැම දෙයකටම ශෝට් කට් සොයන, හැම ප්‍රශ්නයකටම දේශපාලකයන්ට බැණ අත පිසදාගන්න මේ සියලූම ගඳගහන ගතිගුණ සිරිත් විරිත් වලට වග උත්තර බැඳිය යුත්තේ අපගේ වැඩිහිටි පරපුරය.

කිසිම වැඩිහිටියෙක්ට මනුෂ්‍යයකුට හිමි ගරුත්වයට ඉහළින් ගිය කිසිදු ආකාරයක කිසිදු ගරුත්වයක් පිදිය යුතු නැත (අනෙක මෙම වැඩිහිටියන් ගරුත්වය දැක්වීම කියා සිතන්නේ ඔවුනට ඔලුව නමා නැට්ට පස්ස පැත්තේ ගහගෙන කීකරු වීමටය). ඔවුනට මනුෂ්‍යයකුට හිමි ගරුත්වය දීම ප්‍රමාණවත්ය. යම් වැඩිහිටියෙක් විශේෂයෙන් ගරුකල යුත්තෙක් නම්, ඔබෙන් ඔහු/ඇය ඒ ගරුත්වය උපයා ගත යුතුය.

ඔබ යම් කලෙක වැඩිහිටියකු වූ දිනයක අනාගත පරපුරේ ගරුත්වය බලාපොරොත්තු වේ නම්, අප වැඩිහිටියන් අපට උරුමකර දුන් කාලකණ්ණි සමාජක්‍රමය වෙනුවට වඩා යහපත් සමාජ ක්‍රමයක් ඔවුනට උරුමකරදීමට හැකි උපරිමය ඉටු කරන්න. එවිට ඔබ වැඩිහිටියකු වූ දිනක ඔබට අනාගත පරපුරෙන් ලැබිය යුතු ගරුත්වය ලැබෙනු ඇත.

නමුත් වර්තමානයේ නම්.. රටම කෑමෙන් පසු, හෙම්බත් වී දැන් පනහ-හැට පැනපු නාකින් වී සිටින වැඩිහිටියන්ට දිය හැකි ලොකුම ගරුත්වය වන්නේ, මඟුල් ගෙවල් වලදී මරණ ගෙවල් වලදී වැනි ලොකු කුඩා බාල මහළු සියල්ලන් එක් රොක් වන තැන් වලදී ඔවුන් සියල්ල දන්නා පඬියන් බව පෙන්වීමේ අරමුණින් දෙසා බානා මෝඩ ගොන් තකතීරු බූරු කතා ප්‍රශ්න කිරීමෙන් ඔවුන් අමාරුවේ නොදමා නිහඬව උපේක්ෂාවෙන් අසා සිටීමය.

ඒ දෙන ගරුත්වය හොඳටම ඇතිය. ඊට වඩා ගරුත්වයක් අපෙන් ඉල්ලන්නට ඔවුන්ට අයිතියක්ද නැත.

**එදිනෙදා ඇහෙන බොරු තව ඕනෑ තරම් ඇත. ඒවා ගැන කතා කිරීම පසුවටය.**


Friday, October 12, 2018

ප්‍රවේසම් වන්න, ඔබේ ප්‍රියයා මේ විදියේ කෙනෙක් විය හැකියි | You might be dating a Narcissist



මගේ ළඟම මිතුරියක් වසර දෙකක කාලයකින් පසු ඇයගේ සැමියාගෙන් වෙන් වන්නට තීරණය කරලා. කාලයකට පසු හමුවූ ඇය මාත් සමඟ බෙදාගත් අත්දැකීම් වලට සවන් දුන් මට එකවරම සිහියට නැඟුනේ මා අසා, කියවා ඇති 'නාසිසිස්ටික්' (Narcissistic) නම් ගති ලක්ෂණ ඇති පුද්ගලයන් ගැනයි. මට හැඟී ගිය විදියට ඇයගේ සැමියාද එවන් ගති ලක්ෂණ ඇති අයෙක්.

පොදුවේ Narcissistic personality disorder යනුවෙන් හැඳින්වුවත් මෙය රෝගයක් ලෙස ගණන් ගැනෙන්නේ නැහැ. මෙය ගණන් ගැනෙන්නේ බොහෝ කලක් තිස්සේ ගොඬනැඟුනු හැසිරීම් රටාවක් ලෙසයි (trait). නාසිසිස්ට් (Narcissist) කෙනෙක් කියා හැඳින්විය හැකි පුද්ගලයකු තුල ඇති ප්‍රධානම ගති ලක්ෂණ කිහිපයක් නම්,


  • තමාව ඉතා උසස් ලෙස සැලකීම. (superiority) 
  • තමාගේ ප්‍රියයන්ව සහ තමා වටා සිටිනා අයව පාලනය කිරීමේ උවමනාව (controlling) 
  • තමාට සැමවිටම උසස්ම, හොඳම සැලකිලි ලැබිය යුතු යැයි අපේක්ෂා කිරීම (entitled) 
  • අන් අය මඟින් තමා වැදගත් යැයි සලකා ගැනීමට ඇති මහත් කැමැත්ත (seeking validation) 
  • ඉතාමත්ම අහංකාර, උද්දච්ච ගතිගුණ වලින් යුක්ත වීම (arrogant) 
  • සහකම්පනය දැක්වීමට නොහැකියාව (lack of empathy) 


ඉහත ගති ලක්ෂණ ඇතුළුව නාසිසිස්ටික් පුද්ගලයෙකු තුල තිබෙන ප්‍රධානම ලක්ෂණය නම්, ජයග්‍රහණ හඹා යෑම.. ඉලක්ක සපුරා ගැනීම.. අන් අය අතරේ උසස් ලෙස කැපීපෙනීමෙ තදබල ආශාව.. සමාජය තමාව දකිනා ආකාරයෙන් තමාගේ වටිනාකම නිගමනය කිරීම යන ආකල්පයි.

මේ දැක්ම හැඳින්වෙන්නේ tunnel view යනුවෙන්. තම ජීවිතයේ ඉලක්ක උමඟක අවසන ඇති එළියක් ලෙස දකින ඔවුන්, තමා වටා සිටින මිනිසුන්ව දකින්නේ ඒ ඉලක්කය ලඟා කරගැනීමට යොදා ගත හැකි මෙවලම් හෝ ඒ ඉලක්කය ලඟා කරගැනීමේ මාර්ගයට බාධාවක් ලෙස සිටින නිසා ඉවත් කල යුතු අපද්‍රව්‍යය ලෙස දකිනා ආකාරයටයි. ඒ නිසා ඔවුන් කිසිම මනුශ්‍යයකු දෙස සහකම්පනයෙන් බලන්නෙවත්, එහෙම බලන්න හැකියාවක්වත් නැහැ.

බැංකුවේ පෝළිම මඳක් සෙමින් යන විට, ගුවන් තොටුපලේදී ගුවන් යානය විනාඩි දහයක්-පහළවක් ප්‍රමාද වූ විට, රෙස්ටූරන්ට් එකේදී වේටර්වරයා අතින් කෑම ඇනවුම වැරදී වෙනත් කෑම එකක් ලබා දුන් විට.. වැනි අවස්ථා වලදී අධික ලෙස කුපිත වී ලෝක විනාශය වූවාසේ කෑගසමින් අනෙක් මිනිසුන්ට පහත් ලෙස කතා කරන පුද්ගලයන් සමහර විට ඔබ දැක ඇති. සෑම විටම තමා නිවැරදි බව සිතන, පැසසුම් පමණක් බාර ගනිමින් විවේචන හා අඩුපාඩු පෙන්වා දීම් නොඉවසන පුද්ගලයන් කාර්යාලවලදී ඔබ දැක ඇති. සෑම විටම අන්‍යයන්ගෙන් විශේෂ සැලකිලි බලාපොරොත්තු වන මොවුන් බොහෝ විට ආශ්‍රය කරන්නේ ඔවුන් තරම්ම උසස් යැයි සිතනා මිනිසුන්ව පමණයි. මන්ද ඒ මඟින් ඔවුන්ට තමාද මහත් උසස් පුද්ගලයෙකු බව තහවුරු වන නිසා.

ඉහත කී පරිදි අන්‍යයන්ව විවේචනය කිරීමේ රුසියන් වන මොවුන්ට තමන් වෙත එල්ල වන විවේචන නම් දරා ගැනීමට තබා හිතන්නවත් බැහැ. බොහෝ විට විවේචන හමුවේ ඔවුන් හැසිරෙන්නේ අධික කෝපාවිෂ්ඨ වීමෙන්.

කෙනෙක් නාසිසිස්ටික් පුද්ගලයෙක් බවට පත් වන්නේ කොහොමද?

පරම්පරාවෙන්ද මෙවන් ගති ලක්ෂණ හිමිවන බවට මත පලවෙලා තිබුනත්, ඒ ගතිලක්ෂණ ඔප දැමෙන්නේ බොහෝ විට මේ පුද්ගලයන් කුඩා වයසේදී ඔවුන්ගේ දෙමව්පියන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් බවයි පැවසෙන්නේ. මෙයින් නාසිසිස්ටික් පුද්ගලයන්ගේ දෙමාපියන් ඉතාම නරක, නූගත් මිනිසුන් කියා කියවෙන්නේ නැහැ. ඉතාම හොඳ මිනිසුන් යැයි පෙනන, උගත් දෙමාපියන්ගේ දරුවන්ද නාසිසිස්ටික් පුද්ගලයන් බවට පත් විය හැකියි. හිතන්න, ඔබ ඔබේ දරුවාට ඉතාම ආදරය කරන, තම දරුවා වෙනුවෙන් ලොකු කැපවීමක් කරන පියෙක්/මවක් කියා. නමුත් ඔබ ඔබගේ දරුවාගේ ජයග්‍රහණ වලට අසීමිත පැසසුම් ලබා දෙන ගමන්, දරුවාගේ පරාජයන් වලදී අහක බලාගන්නවා නම්. දරුවා සෙල්ලම් කාරයක් හෝ බෝනික්කෙක් හෝ රැගෙන ඔබ ලඟට සෙල්ලම් කිරීමට එන විට කාර්යබහුල වන ඔබ, ඔබේ දරුවා නිවාසාන්තර ක්‍රීඩා උලෙලේ ප්‍රථම ස්ථානය ලබන විට හෝ පන්තියේ පලවනියා වන විට ඉතාම ආදරබර මව්පියෙක් ලෙස දරුවාට ආදරය දක්වනවා නම්... ඔබේ දරුවා වැඩිවියට පත් වෙද්දී නාසිසිස්ටික් ගතිලක්ෂණ ඇති අයෙක් වීමට ඉඩ තිබෙනවා. හේතුව, කුඩා කල සිටම, දරුවාට වැදගත්කමක් දැනෙන්නේ, අවධානය සහ ආදරය ලැබෙන්නේ ජයග්‍රහණ, ඉලක්ක සපුරා ගැනීම් වලදී පමණක් වීම නිසා. ඔවුන්ගේ ජයග්‍රහණ වලදී ඔවුන් සමඟ සිටිනා ඔබ හිතාමතා හෝ නොහිතා ඔවුන්ගේ හැඟීම් වලදී (emotional needs) ඔවුන් තනිකර දමන නිසා. ඉතින් ඔවුන් ජීවිත කාලය පුරාම ඉලක්ක හා ජයග්‍රහණ ලබාගෙන, තමාගේ පිට ඔපය වර්ණවත් කර ගැනීම තුළින් මානසික තෘප්තිය සොයන්නෙක් බවට පත් වෙනවා.

දැන් මඳකට නැවතී හිතන්න. ඔබේ සැමියා, බිරිඳ විදියට.. ඔබේ පෙම්වතා, පෙම්වතිය විදියට ඉන්නේ ඉහත පැහැදිළි කල නාසිසිස්ටික් ගති ලක්ෂණ ඇති පුද්ගලයෙක් නම්??

මේ පිළිබඳ විශේෂඥයන් පවසන අන්දමට නාසිසිස්ටික් ගති ලක්ෂණ ඇති අයෙක් සමඟ මානුෂීය සම්බන්ධකමක් පැවැත්වීම (ආදර හෝ විවාහ ) ඉතාම වෙහෙසකර, අතෘප්තියෙන් පිරුනු, පීඩාකාරී අත්දැකීමක්. හේතුව ඔවුන්ට තමාගේ සහකරු/සහකාරිය ගැන කිසිම අන්දමක සහකම්පනයක් නොදැනෙන නිසා. ඔවුන්ට කිසිම අන්දමකින් සවන් නොදෙන, තේරුම් ගැනීමක් කරන්න අඩුම ගානේ උත්සාහවත් නොකරන නිසා. (මොවුන් සමඟ ප්‍රශ්නයක් කතාබහ කරන විට ඔවුන් ඔබට සවන්දෙනවා සේ සිටියත් ඇත්තටම ඔවුන් ඔබගේ අදහස් වලට සවන් දෙන්නේවත්, ඔබගේ හැඟීම් තේරුම් ගන්නට උත්සාහ කරන්නේවත් නැහැ. ඔවුන් සවන්දෙනවා සේ රඟපාමින් ඉන්නේ ඔබ කතා කොට අවසන් වූවායින් පසු කෙසේ හෝ ඔබව ඔහුගේ/ඇයගේ උවමනාවට අනුව නම්මවා ගැනීමේ අදහසින්). බොහෝ විට මොවුන්ට ඇත්තේ තමන්ගේ සහකරුව/සහකාරියව තමන්ට රිසි පරිදි වෙනස් කොට, තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කරගැනීමට උපකාරී වන කෙනෙක් බවට පරිවර්තනය කර ගැනීමේ තදබල උවමනාවක්. ඔවුන් ජීවිතයේ සියලූම තීරණ ගන්නේ ඔවුන්ගේ හැඟීම් මත පදනම් වී මිසක, අඩුම ගානේ තමාගේ සහකරුගේ/සහකාරියගේ හැඟීම් ගැන සලකා බැලීමෙන්වත් අනතුරුව නෙමේ. ඉතින්, මොවුන් සමඟ ජීවත් වීමට සිදුවන අසරණ මනුශ්‍යයෙකුට දැනෙන්නේ කිසිම කෙනෙක් තමන්ට ඇහුම්කන් නොදෙන, තමන්ගේ හැඟීම් ආශාවල් ගනන් නොගන්නා.. ඒවාට වැදගත්කමක් නොදෙන, අතෘප්තිකර දුක්ඛිත, තනිවූ ජීවිතයක් ගත කරන්නටයි.

ඊලඟට නැඟෙන ප්‍රශ්නය නම් මෙවන් ගතිලක්ෂණ ඇති පුද්ගලයෙකු සමඟ මානුෂීය සම්බන්ධයක් පවත්වාගත හැකිද කියන ප්‍රශ්නයයි. මේ ගැන විශේෂඥයන් ගේ මතය නම් එය ඉතාමත්ම කලාතුරකින් පමණක් සිදුවිය හැක්කක් බවයි.

බොහෝ විට මෙවන් පුද්ගලයන් සමඟ ජීවත් වන අය, තම නාසිසිස්ටික් සගයන් තමා කෙරේ දක්වන අතෘප්තිය තමාගේ අඩුපාඩුවක් සේ සිතා, තමන්ව අසීමිත ලෙස වෙනස් කරගන්නට හැදුවත්, තමන්ගේ නාසිසිස්ටික් සගයාට තමන්ට හැකි උපරිම ලෙස ආදරය කරන්නට උත්සාහ කලත්, අවසනයේ හිමිවන්නේ අතෘප්තිය සහ සිත් වේදනාවම පමණයි. මොකද, නාසිසිස්ටික් චින්තනයක් හා ගතිලක්ෂණ ඇති අයෙක්ව තෘප්තිමත් කිරීම ලෙහෙසියෙන් කල නොහැක්කක්. ඔවුන් අතින් වරදක් වුවත්, ඔවුන් ඒ වරද කරන තත්වට පත් කිරීම ගැන ඔබට දොස් නඟාවි. කෙසේ හෝ අවසනයේ වරදකරු වන්නේ ඔබයි. චූදිතයා වන්නේ ඔබයි. තමාට ඇහුම්කන් නොදෙන, තමාව තේරුම්ගන්නට කිසිදු උවමනාවක් නැති කෙනෙක් එක්ක කාටද මියෙනකල් ජීවත් වෙන්න පුලුවන්?

ඒත් එක්කම, නාසිසිස්ටික් ගතිගුණ ඇත්තෙක් තමන්ගේ සහකාරියට/සහකරුට තමන්ගෙන් වෙන්ව යාමට ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ. ඔවුන්ට වෙන කෙනෙක් හැරයා හැකි වුනත්, වෙනකෙනෙක් ඔවුන්ව හැරයාම ඔවුනට දරා ගන්නට බැහැ. මොකද, එමඟින් ඇති වන පරාජිත හැඟීම ඔවුන්ව වියරු වට්ටන නිසා. එනිසා ඔබ ඔබගේ නාසිසිස්ටික් ගතිගුණ ඇති ආදරවන්තයාව/ආදරවන්තියව හැරයාමට තීරණය කරනවා නම්, ඔබගේ සැමියාව, බිරිඳව දික්කසාද කිරීමට සිතනවා නම්.. ඉදිරියට තමාට මුහුණ දීමට ඇති ඉතාම කටුක අභියෝගවලට මුහුණ දීමට සූදානම් වී ඒ අඩිය තියන්න. මොකද ඔබගෙව ඔවුන්ගෙන් නිදහස් කරන්න්නට කලින් ඔබගේ ජීවිතය අපායක් කරන්නට ඔවුන් හැකි උපරිමය කරන නිසා.

නමුත් කුමන හෝ හේතුවක් නිසා තමාගේ නාසිසිස්ටික් ගතිගුණ ඇති සගයාව හැරයාමට නොහැකි තත්වයක සිටිනා අසරණ වුන යම් අය ඉන්න පුලුවන්. සමහර විට දරුවන් නිසා, සමහර විට ආගමික පසුබිම නිසා, දෙමාපියන්ගේ බලපෑම නිසා, ආර්ථික ප්‍රශ්න නිසා.. සමහර විට මෙම පුද්ගලයාට ඇති ආදරයම නිසා.. වැනි හේතු මත ඔහුව/ඇයව හැරයාමට නොහැකිම නම්.. එයට විසඳුම ලෙස මනෝවෛද්‍යයවරුන් ඉදිරිපත් කරන්නේ මෙවන් විසඳුමක්. ඔබගේ කාලය, ශ්‍රමය, මානසික ශක්තිය, හැඟීම් සියල්ලෙන් 90%ක් කිසිදා සෑහීමකට පත් නොවන තමාගේ නාසිසිස්ටික් සගයා තෘප්තිමත් කරන්නට යොදවනවා වෙනුවට.. ඒ 90% තමාගේ ජීවිතයේ තමන්ට ආදරය කරන අනෙක් අය වෙත යොමු කරන්න. හොඳම යාලුවෙක්, මාපියන්, දරුවන් වැනි තම නාසිසිස්ටික් සගයාගෙන් බාහිර ජීවිතයට 90%ක් ශක්තිය සහ අවධානය යොමු කොට, තම සගයා වෙනුවෙන් 10%ක් පමණක් යොදාගන්න. ඔහු/ඇය සමඟ කතාබහ කරන විට තමාගේ සිත නොරිදෙන එදිනෙදා මාතෘකා පමණක් යොදාගන්න. ඒවාද ඉතාම කෙටියෙන් කතා කරන්න.

ඉතාම වැදගත්ම කාරණය නම්, තමාගේ සම්බන්ධතාවය තුළින් තමා 'අපේක්ෂා කරන්නේ මොනවාද, මොන ප්‍රමාණයෙන්ද' කියන කාරණය කලින් තීරණය කරන්න. මොකද, හිත් වේදනා, බලාපොරොත්තු කඩවීම් ඇතිවෙන්නේ අපේක්ෂාභංගත්වයට පත් වීම නිසා වීමයි. ඔබට ඔහුගෙන්/ඇයගෙන් ගැලවීමක් නැති නම්, තමාගේ ඉදිරි ජීවිතය මල් යහනාවක් නොවන බව තේරුම්ගෙන කටයුතු කරන්න. නමුත් ඔහුගෙන්,ඇයගෙන් ගැලවීමට කුඩා හෝ ඉඩක් ඇත්නම්.. ඔබ ඔබගේ ජීවිතය ගැන ඔබ වෙනුවෙන් හැකි ඉක්මනින් තීරණයක් ගන්නට ඊලඟ පියවර තබන්න. මොකද, ඔබට.. මට සියල්ලටම ඇති එකම එක ජීවිතය තිබෙන්නේ විඳින්නට මිසක කිසිම පලකට නැතුව ගඟකට ඉනිකපමින් විඳවන්නට නොවන නිසා. . . .

******

ප/ලි -

1) ඉහත සඳහන් ගති ලක්ෂන මිනිසුන් වන අප සියල්ලන් තුල අඩුවැඩි වශයෙන් ඇති බව සැබවකි. නමුත් නාසිසිස්ටික් ගති ලක්ෂණ ඇති අය තුල ඉහත ලක්ෂණ වලින් වැඩි ප්‍රමාණයක් ඉතාම ආන්තිකව දක්නට තිබේ.

2) ඔබ දැනට ඉන්නේ නාසිසිස්ටික් සම්බන්ධයක නම්, එය අවසන් කිරීමට තීරණය කිරීමට මේ සටහනේ කරුණු පමණක් පදනම් කරගන්නට එපා.මේ සටහනේ ඇත්තේ ඉතාම කෙටියෙන් කුඩා විස්තරයක් පමණයි. මේ ගැන අන්තර්ජාලයේ ඕනෑ තරම් විස්තර, අදහස් තිබෙනවා. ඒවා කියවන්න, දැනුවත් වෙන්න. ඉන්පසු, ඔබට ඔබගේ සහකරුගේ/සහකාරියගේ ගතිලක්ෂණ ගැන තහවුරු වූ පසු, හැකි නම් කවුන්සලින්, තෙරපි වැනි උපදෙස් ලබාගෙන ඒ විශේෂඥ උපදෙස්ද සලකා බැලීමෙන් පසුව පමණක් ඔබේ තීරණය ගන්න.

3) නාසිසිස්ටික් ගතිගුණ සුවකල නොහැක, මන්ද එය රෝගයක් නොවන බැවිනි. කාලයක් තිස්සේ ඔවුන්ව සාමාන්‍යය හැසිරීමට හුරු කල හැකි වුවත්, ඔවුන්ගේ ජීවිතයේ යම් වැදගත් දෙයක් ඔවුන් කැමති විදියට සිදු නොවූ විටක නැවන රබර් පටියක් මුල් තැනක ක්ෂණයකින් පැමිණෙන්නා සේ, ඔවුන් පරණ තැනටම පත්වන බව විශේෂඥ අදහසයි.

Wednesday, October 3, 2018

පුක සහ පිදුරංගල | Comedy at Pidurangala

"පිදුරංගල තරුණයන් තිදෙනා තවදුරටත් රිමාන්ඩ්" - පුවතක් 




 අපේ ගමේ ඉන්නවා ගෑණියෙක්. ඒකි කරන්නෙම ගෙවල් ගෙවල් ගානෙ ඇවිද ඇවිද ඕපාදූප කියවන එක. පාර අයිනට වෙලා එහා මෙහා යන ගෑණුන්ව අල්ලගෙන එක එකාගෙන් හොයාගත්ත ඕපාදූප, කේලම් තව උන් එක්ක කියන එක. මේ ගෑණි නිසා ගමේ පවුල් කීයක් නම් එකිනෙකා එක්ක තරහ වෙලා ඉන්නවද?

 හැම වෙලේම ඕපාදූප කියවන එක, කේලාම් කියන එක හොඳ දෙයක් නෙමෙයි. ඒක ඉතාම නරක හැසිරීමක්. පිදුරංගල සිද්ධිය දැක්කාම මට නම් හිතෙන්නෙ, කේලාම් කීම කියන නරක හැසිරීමත් නිති විරෝධී හැසිරීමක් බවට සම්මත කරල, අර ගෑණි වගේ කේලාම් ඕපාදූප කියන රට වටේ ඉන්න ඔක්කොම ගෑණුන්ව අල්ලලා ඇප නැතුව හිරේ දාන්න ඕන කියල. නරක හැසිරීම් ඔක්කොම මෙහෙම හිරේ දාලා නවත්තනවා නම් කොච්චර හොඳද..සමාජය කොච්චර ඉක්මනට හැදෙයිද...

 කේලාම් කීම විතරක් නෙමේ. බැංකු සුපර්මාර්කට් වලදි පෝලිම් පැනීම, ප්‍රසිද්ධ ස්ථාන වල නහය හෑරීම, කෑම කද්දි තළු මැරීම, බත් පිඟානේ කෑම ඉතුරු කිරීම, සද්දෙට පඩ ඇරීම, වගේ නරක නොමනා හැසිරීම් ඔක්කොටම මාස දෙක තුනක් ඇතුලත දහ පහළොස් දෙනෙක් අල්ලලා අවුරුදු පහක දහයක සිර දඬුවම් නියම කලා නම් අපේ රට අවුරුදු පහෙන් ජපානය වගේ කල හැකි. (තව උසාවියේ ශබ්ද නඟා ඈණුම් අරින උන්වත් හිරේ දාන්න ඕන. ඔව්)

 ***

 මිනිස්සුන්ගෙ එදිනෙදා ක්‍රියාකාරකම් වලට රාජ්‍යය සිය බලය පාවිච්චි කරමින් මැදිහත් වෙන්න වෙන්න, ඒක ඉතාම හොඳ දෙයක් කියලයි ගොඩක් දෙනා හිතන් ඉන්නෙ. තමා 'අකමැති' දේ කරන, තමා අකමැති ක්‍රියාවල් වල නිරත වෙන හැමෝටම රාජ්‍යය කියන බලවත් හස්තයෙන් දඬුවම් පමුණුවලා කෙළවලාම දානවා නම් ඒ තරම් සතුටක්, තෘප්තියක් ගොඩක් දෙනෙක්ට තවත් නැහැ.

 මින් කියවෙන්නේ නැහැ සමාජයක් විදියට අපි මිනිස්සුන්ගේ හැම හැසිරීමක් දිහාම අහක බලාගෙන සිටිය යුතුය කියල.. හැම ක්‍රියාකාරකමක්ම 'උන්ගේ නිදහසනෙ' කියන ලේබලය පිටිපස්සෙන් තියල අනුමත කල යුතුය කියල. නමුත් ශිෂ්ඨ සමාජයකට බැරිද නිශ්චිත හැසිරීම් සම්බන්ධව ස්වයං පාලනයක් ඇති කරගන්න? යම් යම් අවස්ථා වලදී ප්‍රශ්න විසඳාගන්න ආකාරයන් අවබෝධය තුළින් සම්මුතීන් ඇති කරගැනීම හරහා සිදු කරගන්න? ශිෂ්ඨ සමාජයක් කියන්නේ කොල්ලො දෙන්නෙක් 'පුක' පෙන්වීමත් රාජ්‍යයයේ මැදිහත් වීමෙන් තොරව විසඳාගන්න බැරි සමාජයක්ද?

 යමකු සමාජ විරෝධී ලෙස කඩාකප්පල්කාරී විදියට හැසිරෙනවා නම් එයට නැවතීමේ තිත තැබිය යුතු බව ඇත්ත. යම් පොදු ස්ථානයකට ඇවිත් 'පුක' පෙන්නනවා නම් යකුනේ ඊළඟ දවසෙ පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉඳල ඒ ස්ථානය භාර පිරිස් විසින් යම් අවවාදයක් කලා නම්, "පුක පෙන්නන්න එපා පින්වත, පුක වසාගන්න.. නොපමාව කුසල් රැස් කරන්න" කියල කියන සිවුරක් දරාගෙන ඉන්න එකෙක්ට පුක පෙන්නන එකෙක් මේ ලංකාවෙ හතර මායිමෙන් හොයාගන්න බැරි බව නොදන්න උන්ද ඔය තැන් බාරව ඉන්නෙ? ඔය වගේ ස්ථානයක ඒ විදියට හැසිරීම අනුමත කෙරෙන්නෙ නෑ කියන එක ප්‍රචාරය වුනා නම් හැමදාම ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න නිසා රිලැක්ස් වෙන්න ට්‍රිප් එකක් යන අතරෙ 'පුක පෙන්නලා' නැති ප්‍රශ්න ඇති කරගන්න තරම් මේ රටේ කාටවත් පුකේ අමාරුවක් නෑ කියලා මුන්ට තේරෙන්නෙ නැද්ද?

 පොලිසි ගිහින් පැමිණිලි කරල.. පරීක්ෂණ කරල.. අධිකරණ වලට දාල... රිමාන්ඩ් කරල..!

 මුන් හරියට හැසිරිලා තියෙන්නේ පිදුරංගල කන්‍යාවියගේ ගල අස්සෙන් ගිහින් ඇයගේ කන්‍යා පටලය කැඩීම වැනි ආපසු හැරවිය නොහැකි වරදක් කල උන්ට වගේ දඬුවම් කිරිල්ලක්නෙ.. ඊළඟ දවසෙ ඔතනින් චූ කරල පැනලා යන උන් ගෙ ගල උඩ චූ වේලෙන්න කලින් සාම්පල අරගෙන ඩී.එන්.ඒ පරීක්ෂාවක් කරල උන්වත් අත් අඩංගුවට ගනීද දන්නෑ විශේෂ මෙහෙයුමක් දියත් කරල. ඇයි ආපසු හැරවිය නොහැකි මහා අපරාධයක්නෙ වෙලා තියෙන්නෙ... මේක තනිකරම ද්වේෂයෙන්, පළිගැනීමේ අරමුණින් කරල තියෙන පැමිණිල්ලක්. දුවල දුවල ගිහින් අම්මට කේලම් කියන පොඩි එකෙක් වගේ හැසිරිලා තියෙන්නේ චීවරදාරී පොර.. හැම මගුලම විසඳන්න තියෙන එකම සහ හොඳම ක්‍රමය 'දඬුවම් කිරීම' කියල හිතන එකද වඩාත් සුදුසු?

 ඊළඟට තවත් හරක් සෙට් එකක් ගේන තර්කය තමයි, .. "පුළුවන් නම් උසාවියේ ගිහින් පුක පෙන්නපියව්කො බලන්න,, මොකද වෙන්නෙ කියල.."

 යකුනේ.. ඔව්.. උසාවියේ පුක පෙන්නන්න බෑ තමයි. අඩුම ගානේ සද්දෙට ඈණුමක් ඇරියා කියල මොකද වුනේ? ඒකම තමා මේ කියන්නේ.. නීතිය අතේ තියෙන උන් හරිම කැමති වෙයි අපි කරන හැම මගුලකටම ඇඟිලි ගහන්න.. අපිව උන්ගේ උපරිම පාලනයට නතු කරගන්න.. ඔය විදියට උසට උසේ බිල්ඩින් ගහගෙන.. අපිට උඩින් තියෙන මහා ලොකු මෙව්වා එකක්ය කියන ඉමේජ් එකක් මේන්ටේන් කරගෙන, ගෑණුන්ට කලිසමක්වත් අඳින්න නොදී, ඇතුලෙදි සද්දෙට පඩයක් ගියත් හිරේ දාන ලෙවල් එකේ 'ශුද්ධ වූ මෙව්වා' එකක් මේන්ටේන් කරගෙන සයිකලොජිකල් ගේම් ගහන්නෙම ඒක නිසා තමා.. අපේ නෙමේ කොයි රටෙත් එහෙමයි..

 මිනිස්සු දැනගන්න ඕන හය හතර බේරගෙන ඇත්ත මොකක්ද, සමහරුන් ඉදිරියේ අච්චර 'නැමෙන' අහවල් එක අපේ 'වැරදි' ඉස්සරහා හරි දැඩිව ක්‍රියාත්මක වෙන්නෙ ඇයි කියන එක තේරුම් ගන්න.. කහ සිවුරු ප්‍රභූ බලාධිකාරියට කියන්න තියෙන්නෙ ඉතින්.., "ඊලඟට තොපි සුදු ඇඳගෙන නැතුව නුසුදුසු විදියට පාට ඇඳගෙන පන්සල් එන එවුන් අල්ලන්නත් පොලිසි දාපියව්... එහෙම කරන උන්වත් ඇප නැතුව හිරේ දාපියව්.." 

 ***

 උත්තරීතර(?) පාර්ලිමේන්තුවේදී 'පක' කියන උන් එද්දි කාණු වලට බහිනවා.. පිදුරංගල 'පුක' පෙන්නුවා කියල ඇප නැතුව හිරේ දානවා..

 අර කොල්ලොන්ට උන වැඩේට අපි හිනා වෙමු.. හරි හිනා බන්.. හතර හිනා..


Friday, September 14, 2018

සිනහ වෙන මිනිසා | The Laughing Man

මීට හය හත් මසකට පෙර ලබාගත් Pure TV සේවය හරහා සහ ඇතැම් විට යූ ටියුබය හරහා සිනහවෙන් තම වැඩසටහන ඉදිරිපත් කරන මිනිසාව දැක ඇත්තෙමි.  The Tonight Show Starring Jimmy Fallon නම් වූ ඔහුගේ වැඩසටහන දිනකට පැය බැගින් සතියේ දින පහේම විකාශය වෙයි.

මෙම වැඩසටහන විවිධ සිනමා තරු, ගායන තරු, ක්‍රීඩා තරු වැනි Celebrities ලෙස සැලකෙන පුද්ගලයන් සමඟ කෙරෙන විනෝදාත්මක තරඟ මෙන්ම සම්මුඛ සාකච්ඡා වලින් සමන්විතය. මේ ආකෘතියෙන් යුක්ත මීට සමානම තවත් වැඩසටහන් රාශියක් පැවතුනත් ජිමී ෆැලන්ගේ මෙම වැඩසටහනේ මා දුටු විශේෂත්වය නම් අනෙක් වැඩසටහන් වල ඉදිරිපත් කරන්නන් මෙන් නොව ෆැලන් තුල සෑම මොහොතකම ඇති සිනහවෙන් පිරුනු විනෝදාත්මක බවයි.

මා මේ සටහන ලියන්නට පෙළඹුනේ ඔහුගේ කෙළිලොල් ස්වභාවය හෝ සිනහව හෝ වයසට නොගැලපෙන දඟකාරබව වර්ණනා කිරීමේ අදහසින් නොවේ. ඊට හාත්පස වෙනස් අදහසකි ෆැලන් දුටු මා සිතට නැඟුනේ. ෆැලන් ගේ හැසිරීම දකින අනෙක් අය එය කෙසේ කොහොම දකිනවාද කියා මා දන්නේ නැත. නමුත් මම නම් ෆැලන් තුළින් දුටුවේ මම මගේ ජීවිතය පුරාවට දුටු ව්‍යාජම සිනහවයි. ලොකුම රඟපෑමයි. මා දුටු ලොකුම බොරුකාරයා ෆැලන්ය කියා මා කිසිසේත්ම කියන්නට නොවේය මේ තනන්නේ. නමුත්, ඔහුගේ සිනහව, වැඩිහිටියෙකුට අනුචිත දැඟලිල්ල තුළින් මා දුටුවේ දිනපතා  බලෙන් ආරූඩ කරගත් චරිතයක් ඉතාම අපහසුවෙන් රඟපාන මිනිසෙකි. මට ඔහුගේ සිනහව දකින විට වෙනත් මනුෂ්‍යයකුගේ සිනහව දුටු විට දැනෙන ප්‍රසන්න හැඟීම නොවේ දැනෙන්නේ, ඒ වෙනුවට මගේ සිත වෙළී යන්නේ ඔහු ගැන මහත් අනුකම්පාවකිනි. මට ඔහුව පෙනෙන්නේ අසරණයෙක් ලෙසිනි. මුදලින්, බාගෙවිට බලයෙන්, ජනප්‍රියත්වයෙන් හෙබි අසරණයෙකි.

මෙලොව කිසිම මනුෂ්‍යයකුට සතියේ දින පහේම එකම කාලසීමාවක් තුල එකම හැඟීමක් දරාගෙන සිටීමට හැකියාවක් නැත. ජිමී ෆැලන් චිත්‍රපටයක රඟපාන නළුවෙක්ගෙන් වෙනස් වන්නේ ඔහුගේ හැසිරීම රඟපෑමක් නොවන ලෙස ඔහු ඉදිරිපත් කල යුතු නිසාවෙනි. ඒ අතින් ෆැලන් කෙතරම් පව්ද? කොතරම් පීඩනයක්, බරක් දරාගෙන ඔහු මේ කාර්යභාරය කරනවා ඇද්ද?

ෆැලන් මේ රාජකාරිය පටන් ගත් දා සිටම මේ පීඩනය දරා සිටියා විය නොහැක. නමුත් යම් කාලයක්, වසර කිහිපයක් ගත වෙනවාත් සමඟම මනුෂ්‍යයන් වශයෙන් ඒ ඒකාකාරී බව පීඩනයක් ලෙස පිටවනු ඇත. මේ හා සමාන වැඩසටහන් ඉදිරිපත් කරන්නන් වන Stephen Colbert, Jimmy Kimmel,  වැන්නන්ගේ මුහුණවල නම් ඒ විඩාව, ඒ වෙනස මුල් කාලයට සාපේක්ෂව ඉතාම පැහැදිළිවම දැකිය හැකිය.

ඒත් ෆැලන්ගේ එසේ නොවේ. ඔහු අදත් ඔහුගේ පළමු දවසේ සේම සිනාසෙයි. බඩ අල්ලන් සිනාසෙයි. උඩ පනියි, බිම පෙරළෙයි, ගීත කියයි, නටයි, හූ තියයි.

සෑම දිනක්ම තමා සතුටින් ගෙවන බව අනෙක් අයට හැඟවෙන පරිදි ජීවත් වීමට නියම කිරීම මිනිසෙක්ට දිය හැකි ලොකුම දඬුවම් වලින් එකක් කියා මට හැඟෙයි.

"ෆැලන්.. ඔබ ඊයේ සහ අද සිනාසුනා මෙන්, හෙටත් සිනාසෙන්න. බඩ අල්ලා සිනාසෙන්න. ඒ සිනාව පසුපසින් ඔබට මහා මුදල් කන්දරාවක් පැමිණෙනු නියතය. ව්‍යාජත්වයම ඉල්ලන ලෝකය ඔබගේ ව්‍යාජ සිනහවට ඉතාම ඉහළ මිලක් අද සේම හෙටත් ගෙවනු ඇත. නමුත්, ඔබේ වාසනාවට හෝ අවාසනාවට, ඔබගේ සිනහසෙන මුව අසළම ඇති ඇස් වලින් කියවෙන කථාව අද සේම හෙටත් මේ විකාරරූපී විනෝදකාමී ලෝකයට මඟහැරෙනු ඇත"