Wednesday, October 24, 2018

එදිනෙදා ඇහෙන බොරු | Lies, Lies and Lies




"කියවීම මිනිසා සම්පූර්ණ කරයි"
====================

කියවීම වැදගත්ය. නමුත් ඊට වඩා වැදගත් වන්නේ කියවන්නේ කුමක්ද, කියවන දේ විශ්ලේෂණය කරන්නේ කෙසේද යන කාරණාය.

බොහෝ තැන් වලදී මෙන්ම අවසානයේ මෙහිදීද වැදගත් වන්නේ චින්තන ක්‍රමයේ වැදගත්කම මිසක වචන දහස් ගණනක් කියවා ඔලුව පුරවගෙන දැනටම තමන් දරනා මතයන් තහවුරු කරගැනීම නොවේ.

"ඉගෙන ගන්න දෙයක් කවදාවත් අපතේ යන්නේ නෑ"
==================================

ඉගෙන ගත් දෙයින් පලක් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකිව දුක්ඛිත ජීවිත ගත කරනා මිනිසුන් ඕනෑ තරම් සිටියි. ඔවුන්ට සිදුව ඇත්තේ ඉගෙනගත් දේ අපතේ යනවා දැක දැක අල්මාරි වල සහතික ගොඩගසාගෙන සුසුම් හෙළමින් ජීවිත ගත කරන්නටය.

යම් විෂයක්, දර්ශනයක්, වෘතියක් ගැන ඉගෙන ගැනීම හොඳය. ඒ වගේම ඒ ඉගෙනගත් දේ ප්‍රයෝජනයට ගන්නේ කෙසේද යන කරුණද ඉගෙනගත යුතුය.

ඉගෙනීමෙන් ඉෂ්ඨ කෙරෙන්නේ ජීවිතයේ එක් කොටසක් සංතෘප්ත කිරීමක් පමණි. ඉගෙනීම තුළින් අදාල අංශයක ඉහලටම ගියද සාමාන්‍යය ජීවිතය ගැටගසාගත නොහැකිව, තමන් වටා ඉන්නා මිනිසුන් සමඟ කටයුතු කිරීමට ඇති නොදැනුවත්කම නිසා ජීවිත අපායන් කරගත් බොහෝ දෙනෙක්ව පුද්ගලිකවම හඳුනමි.

අනෙක් කරුණ, කොපමණ ඉගෙනගෙන ඉහළට ගියද, අපේ වැනි රටක නම් සිදුවන්නේ තමාට ඉහළින් සිටිනා අයගේ පශ්චාත්භාගය සිඹිමින් හෝ තම බොසාගේ අණට කීකරු වෙමින්, ඔහුගේ හිනා නොයන විහිලු වලට හිනා වෙමින්, ඔහු කියනා සෑම මෝඩ තකතීරු කතාවකටම නිහඬව ඔලුව වනමින්, තමාට හිමි නිවාඩුව ගැනීමටද ඔහු ඉදිරියේ දෙකට නැමෙමින් තම ආත්මයම මාසය අවසනයේ ලැබෙන පඩිය වෙනුවෙන් විකුණා දැමීමටය. මෙවන් රැකියාවක් කිරීමෙන් ඇති හොඳ නම්, තමාගේ පවුල තුළ සහ නෑදෑයන් අතර තමා උගතකු ලෙස මහත් පිළිගැනීමට ලක් වීමයි. ඔවුන් ඔබ රාජකාරී කරන තැන ගෙවනා කුජීත නිවට ජීවිතය ගැන දන්නේ නැත. එසේම ඔබේ බොස් හෙවත් 'සර්' ඉදිරියේ දියවී යන අභිමානය ඔබේ නිළයට වඩා පහළින් සිටින ඔබ වැනිම උගතෙක් පිටින් යවා ඔහුට සැර දමා ලොකු කම් පෙන්නා ඔබේ පීඩනය නිදහස් කර ගැනීම මඟින් රැක ගත හැක.

මේ කතාව මෙසේ වෙනස් විය යුතුය.

"ඉගෙන ගැනීමෙන් ජීවිතයට මහා ලොකු හොඳක් සිද්ධ වන්නේ නැත. ජීවිතය කොහොමත් කුජීතය. නමුත් ඉගෙන නොගෙන සිටීමට වඩා යමක් ගැන ඉගෙනගෙන සිටීම හොඳය"

"කොයි දේ වෙන්නෙත් හොඳට"
====================

අනාගතය ගැන සුභවාදීව බලන්නට අපේ මනස ස්වභාවයෙන්ම සකස් වී ඇති බව සැබවකි. නමුත් අනාගතය සැමවිටම සුභදායක බව ඉන් නොකියවේ.

කුමන අභාග්‍යයක් සිදු වුවත් අවසානයේ හොඳක්ම සිදුවීමට ජීවිතය යනු බොලිවුඩ් චිත්‍රපටයක් නොවේ. මෙවැනි අදහස් පදනම් වන්නේ හරි වැරැද්ද, හොඳ නරක සමබර වී අවසානයේ හොඳ ජයගැනීම සහතික කරනා අද්භූත බලවේගයක් ලොව ක්‍රියාත්මක වේය යන මිනිසුන් තුල ඇති මිත්‍යා මතයයි. නැත. සියලුම දේ වන්නේ හොඳටවත් නරකටවත් නොවේ.

මිනිසුන්ට එක් එක් දේ සිදු වෙයි. මිනිසුන් කරන්නේ ඒවාට හොඳ හෝ නරක ලෙස අර්ථ දැක්වීම් ලබා දීම පමණි.

"පුංචි ළමයි මල් වගේ"
==============

අමූලික බොරුය. පුංචි ළමයෙක් "හා.. හූ.... බී... මී.." ගෑවද ඒ හැසිරීම කෙරේ ලයාන්විතව ආදරයෙන් බැලීමට අපව ස්වභාවයෙන් නිර්මාණය වී ඇත. එය සැබවකි. නමුත් පුංචි ළමයින්ගේ සියලු ක්‍රියාකාරකම් ලයාන්විත ආදර බර සුරතල් බව ඉන් නොකියවේ.

පොදුවේ පුංචි ළමයින් යනු ආත්මාර්ථකාමීත්වයේ අග තැම්පත් ජීවීන් කොටසකි. ඔවුන්ගේ මනස වර්ධනය වී නැති නිසා හැඟීම් පාලනය කරගැන්මට හැකියාවක් ඔවුනට නැත. හැකි සෑම විටම ඇඬීම හෝ ලජ්ජා කිරීම හෝ වැඩිහිටියන් අපහසුතාවයට පත් කිරීම මඟින් තමාට ඇවැසි දේ කරගැනීමට රුසියෝය, පුංචි ළමයි.

පාසලේදී, පන්තියේදී රංචු පිටින් එක්ව ස්වභාවයෙන් පසුගාමී ළමයින්ව බුලි කිරීමට ලක් කරන්නේද, කටට එන අනේක විද බොරු බේගල් ඇද බාන්නේද මේ මල් වගේය කියනා පුංචි ළමයින්ය.

වැඩිහිටියන් ගැන පුංචි ළමයින් කියූ බේගල් නිසා ජීවිත උඩු යටිකුරු වී විනාශ වූ අවස්ථා ලෝකයේ ඕනෑ තරම් වාර්ථා වී ඇත. මේ කීවේ පොදුවේ පුංචි ළමයින් ගැනය.

එසේම කුඩා සතුන් වධ හිංසාවට ලක් කිරීමෙන් සතුටු වන, සෙල්ලම් බඩු විනාශ කිරීම, වැඩිහිටියන් තමන්ට කීකරු නොවන අවස්ථා වලදී තමන් මත මුත්‍රා මලපහ පිට කරගෙන වැඩිහිටියන්ට හිතා මතාම කරදරයක් වන, විනාශකාරී මනෝව්‍යාධික (psychopathic) පුංචි ළමයින්ද සිටියි.

ඔබට තවත් සැක නම් මොහොතක් නැවතී සිතන්න. කුමන පුංචි ළමයාටද "පුතේ ඔයා ඔයාගේ සෙල්ලම්බඩු අනෙක් ළමයින් එක්ක බෙදාගන්නවා වැඩියිනෙ.. ඔහොම ගියොත් ඔයාට සෙල්ලම්බඩු නැතුව යනවනෙ.. ඔයාටත් ටිකක් තියාගන්නකො.." කියා ඉගැන්විය යුත්තේ? නැත. පුංචි ළමයින්ට ඕනෑ ඔක්කොම තමාටය. අනෙකාගේ දේද තමාටය.

සියලූම කාරණා මෙසේ වෙද්දී තව දුරටත් පුංචි ළමයි මල් වගේ කියනවා නම් ඒ මල් ජාතිය ලස්සන, එහෙත් අමුතුම විසකුරු මල්ජාතියක්ම විය යුතුය.

"කලාකරුවන් කියන්නේ සංවේදී පිරිසක්"
==========================

අමු කෙප්පයකි. ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කලාකරුවන් සැලකුවහොත් ඔවුන්, ඔවුන් වටා ඇති මිනිස් හැසිරීම් හා හැඟීම් ගැන ඉතාම සංවේදී වී ඇති බව නම් සැබෑවක් බව නිරීක්ෂණය කල හැක. ඩොස්ටොයෙව්ස්කි, ටෝල්ස්ටෝයි, හෙමින්ග්වේ, ශේක්ස්පියර් වැනි කලාකරුවන්ගේ නිර්මාණ සලකන විට, ඔවුන් මිනිස් මනස සහ මිනිස් සමාජය කොයි තරම් නම් කියවා ඇත්ද යන්න පුදුම සහගතය.

නමුත් සියලු කලාකරුවන් තමන් අවට ලෝකය ගැන සංවේදී බවවත්, හරිම අහිංසක සුකුමාල මිනිසුන් පිරිසක් බවවත් ඉන් නොකියවේ.

කලාකරුවන් කියන්නේ සංවේදී පිරිසක්, යන ටොම් පචය නූතන කලාකරුවන් විසින් තමන් අනෙක් මිනිසුන්ට වඩා වෙනස්, වෙනම තලයක ඉන්නා පිරිසක් බව තමන්ටත් අනෙක් මිනිසුන්ටත් තහවුරු කරගැනීමට හදාගත් බේගලයකි.

ඔවුන්ගේ ඇති විශේෂ සංවේදී බවක් නැත. ඔවුනුත් අනෙක් මිනිසුන් සේම නරුමයෝය. ආත්මාර්ථකාමියෝය. අවස්ථාවාදියෝය. තක්කඩියෝය. වෙනසක් ඇත්නම් ඒ ඔවුන් මෙවන් බේගල් ඇදබාමින් හම්බකරන මුදල් කිසිම සැලසුමකින් තොරව වියදම් කරමින් නාස්තිකාර ජීවිත ගතකොට, ජීවිතයේ අවසන් කාලයේදී සමාජයෙන් 'වින්දනීය හිලව්' නාමයෙන් 'අපි උඹලව සන්තෝස කලා.. කෝ උඹලා දැන් අපි ගැන බලන්නෙවත් නැද්ද.. අපි අසරණ වෙලා..' කියමින් නිර්ලජ්ජිතව හිඟමන් යැදීම පමණි.

"ඔබේ නිදහස ප්‍රශ්න කිරීමට කිසිවෙකුට අයිතියක් නැත"
====================================

කෙනෙක්ගේ නිදහසට අභියෝග කිරීමට කෙනෙක්ට අයිතියක් නැති විය හැක. නමුත් ඕනෑම කෙනෙක් තමන්ගේ නිදහස පාවිච්චි කරමින් කරන්නේ කුමක්ද කියා ප්‍රශ්න කොට එහි හොඳ නරක, සුදුසු නුසුදුසු බව සාකච්ඡා කිරීමට නම් ඕනෑ කෙනෙක්ට අයිතියක් ඇත.

උදාහරණයක් ගන්න. කෙනෙක්ට කැමති නම් කොටට ඇඳිය හැක, ජංගි ගහගෙන ස්ටේජ් වල නැටිය හැකිය, නිකාබයන්, අබායා, හිජාබ් ඇඳිය හැකිය. ඒ ඔවුන්ගේ නිදහසය. ජංගි ගහගෙන ස්ටේජ් වල නටන අයට ගල් ගසන්නටවත්, හිජාබ් ඇඳගෙන පාරේ යන අයට හූ කියන්නවත් නුසුදුසුය. නමුත් කෙනෙක් ජංගියක් ගසාගෙන නිරුවත පෙන්වමින් ස්ටේජ් එකක නටන්නට මුල් වන චින්තනයද, කෙනෙක් හිජාබයක්, නිකාබ් එකක්, බුර්කාවක් ඇඳීමට තීරණය කරන සමාජීය චින්තනයද ඕනෑම කෙනෙකුට ප්‍රශ්න කල හැක. ප්‍රශ්න කල යුතුය.

මන්ද, මිනිසුන්ගේ කැමති අකමැතිකම් මත පදනම් වන සමාජීය හැසිරීම් "මම ගස්ලබු වලට වඩා අඹ අච්චාරු කන්න ආසයි" වැනි අභිරහස් පුද්ගල හැඟීම් නොව, සමාජීය ආකල්ප, වටිනාකම් මත නිර්ණය වන නිසාය. මිනිසුන්ගේ කැමති අකමැතිකම්, උවමනා එපාකම්, ආශාවල් යනු ලෝකය විසින් 'නිර්මාණය කරන ලද' ඒවා වන නිසාය.

එමෙන්ම සදාචාරාත්මක ගැටළු වලදීද 'ඒක මගේ නිදහසනෙ' තර්කය ඉදිරිපත් කරනා ගොන් මැට්ටන් ඇත. උදාහරණයකට මාංශ පිණිස සතුන් ඝාතනය කිරීම යන මාතෘකාව ගන්න. එය සදාචාරාත්මක ප්‍රශ්නයකි. 'ඒක මගේ නිදහස' යන තර්කයෙන් ඒ හැසිරීම සාධාරණීයකරනය කල නොහැක. එය එසේ කල හැකි නම්, ළමා විවාහ පිළිගන්නා සමාජ ක්‍රමයක "ඒක මගේ කැමැත්තනේ.. ඔයා අකමැති නම් ඔයා පොඩි ළමයි නොබැඳ ඉන්න" කියන එක සාධාරණ තර්කයක් විය යුතුය. මිනිසුන් වහලුන් ලෙස තබාගත් කාලයේ "වහලුන් තියාගන්න එක මගේ නිදහස. ඔයා අකමැති නම් ඔයා වහලුන් තියාගන්නෙ නැතුව පාඩුවෙ ඉන්න" යන තර්කය සාධාරණ තර්කයක් විය යුතුය.

මට සිගරට් බීමට නිදහස ඇත. එහෙත් සිගරට් බීමට කෙනෙක් පෙළඹෙන්නේ ඇයි? සිගරට් බීමේ ආදීනව මොනවද? සිගරට් බීම දිරි ගැන්විය යුතුද නැද්ද? යන ඉතාම වැදගත් මාතෘකා ගැන සමාජීය කතිකාවත් ඇති වීමද සිදුවිය යුතුය.

හැම ඉලව්වම 'නිදහස' ට ලඝු කිරීම පිස්සුවකි.

"ළමයෙක් හදන්න කාලෙ හරි නේද?"
=======================

බොහෝ දෙනාට දරුවන් හැදීම යනු සවිඥානිකව ගන්නා තීරණයක් නොවේ. ඔවුන්ට එය ඉපදීම, වැඩිවිය පැමිණීම, මහළු වීම වැනි ඉබේම සිදු වන දෙයකි.

විවිධ විෂම මිනිසුන් එකතුවකින් සැදී ඇති සමාජයක සියලූම දෙනාට විවාහ පත් වීමේ හෝ දෙමාපියන් වීමේ උවමනාවක් නැත. ඒ උවමනාව ඔවුන් වෙත පටවන්නේ සමාජය විසිනි. අඩුම තරමේ විවාහ නොවී සිටීමට, දෙමාපියන් නොවී සිටීමටද ඔබට හැකිය යන විකල්පයවත් සමාජය විසින් ඔවුනට ලබා දෙන්නේ නැත.

හැම පිරිමියෙක්ම ගැහැණියක්ම දෙමාපියන් වීමට සුදුසු නැත. බොහෝ දෙනා ළමයින් බිහි කරන්නේ එක්කෝ සමාජයේ උවමනාවටය. නැත්නම් නිරතුරුව පීඩනයෙන් සිටිනා තමන්ට අණ දීමට හැකි යම් කෙනෙක්, පාලනය කල හැකි යම් කෙනෙක්, නිරතුරුව කීකරු වන යම් කෙනෙක්, කම්මැලි වෙලාවට සෙල්ලම් කරන්නට සුරතල් කරන්නට යම් කෙනෙක්ගේ අවශ්‍යයතාවය ඇති නිසාය.

එවන් හැඟීමෙන් දරුවන් බිහි කරනා අය දරුවන් බිහි කිරීමට සුදුසු නැත. මනුෂ්‍යය සංහතියට ස්වාධීන, බුද්ධිමත් මනුෂ්‍යයෙක් දායාද කරනවා වෙනුවට මියෙන තුරා තමාට කීකරු දරුවෙක් පතන යමෙක් වේද, ඔහුගේ අවශ්‍යයතාවය හොඳින්ම ඉශ්ඨ කරගත හැක්කේ දරුවෙක් බිහි කිරීමෙන් නොවේ. බල්ලෙක් හැදීමෙනි.

අප සමාජයේ වර්තමානයේ ඇති ලොකුම පටලැවිල්ලක් නම් බල්ලන් අවැසි මිනිසුන් දරුවන් බිහි කර බල්ලන්ගෙන් බලාපොරොත්තු විය යුතු දේ දරුවන්ගෙන් බලාපොරොත්තු වීමය.

"වැඩිහිටියන්ට ගරු කල යුතුය"
===================

නැත. කථාව වැරදිය. ගරුත්වය යනු ඉබේ ලැබෙන දෙයක් නොව, උපයා ගත යුතු දෙයකි.

පාරට බැස බලන්න. දැන් මැදි වියේ පසුවන අපේ වැඩිහිටි පරපුර අපට උරුම කරදී ඇති සමාජය මොන වගේද කියා. හිංසාවෙන් ප්‍රශ්න විසඳිය යුතු යැයි සිතන, ලිංගික අසහනයෙන් පෙළෙන, අසහනකාරී, විනයක් නැති, ඉවසීමක් නැති, අනන්‍යයන්ගේ අයිතීන් නොඉවසන, දූෂණයෙන් පිරි, ජාතිවාදී, ආගම්වාදී සමාජයකි අප රටේ වැඩිහිටියන් අපට උරුම කර දී තිබෙන්නේ.

හරි නම් අප වැඩිහිටි පරපුර කල යුත්තේ අපගෙන් ගරුත්වය ඉල්ලීම වෙනුවට සමාව ඉල්ලීමය. අප රටේ සමාජයක්, සංස්කෘතියක් වශයෙන් ඇති අකාර්‍යක්ෂම, කම්මැලි, සැම දෙයකටම ශෝට් කට් සොයන, හැම ප්‍රශ්නයකටම දේශපාලකයන්ට බැණ අත පිසදාගන්න මේ සියලූම ගඳගහන ගතිගුණ සිරිත් විරිත් වලට වග උත්තර බැඳිය යුත්තේ අපගේ වැඩිහිටි පරපුරය.

කිසිම වැඩිහිටියෙක්ට මනුෂ්‍යයකුට හිමි ගරුත්වයට ඉහළින් ගිය කිසිදු ආකාරයක කිසිදු ගරුත්වයක් පිදිය යුතු නැත (අනෙක මෙම වැඩිහිටියන් ගරුත්වය දැක්වීම කියා සිතන්නේ ඔවුනට ඔලුව නමා නැට්ට පස්ස පැත්තේ ගහගෙන කීකරු වීමටය). ඔවුනට මනුෂ්‍යයකුට හිමි ගරුත්වය දීම ප්‍රමාණවත්ය. යම් වැඩිහිටියෙක් විශේෂයෙන් ගරුකල යුත්තෙක් නම්, ඔබෙන් ඔහු/ඇය ඒ ගරුත්වය උපයා ගත යුතුය.

ඔබ යම් කලෙක වැඩිහිටියකු වූ දිනයක අනාගත පරපුරේ ගරුත්වය බලාපොරොත්තු වේ නම්, අප වැඩිහිටියන් අපට උරුමකර දුන් කාලකණ්ණි සමාජක්‍රමය වෙනුවට වඩා යහපත් සමාජ ක්‍රමයක් ඔවුනට උරුමකරදීමට හැකි උපරිමය ඉටු කරන්න. එවිට ඔබ වැඩිහිටියකු වූ දිනක ඔබට අනාගත පරපුරෙන් ලැබිය යුතු ගරුත්වය ලැබෙනු ඇත.

නමුත් වර්තමානයේ නම්.. රටම කෑමෙන් පසු, හෙම්බත් වී දැන් පනහ-හැට පැනපු නාකින් වී සිටින වැඩිහිටියන්ට දිය හැකි ලොකුම ගරුත්වය වන්නේ, මඟුල් ගෙවල් වලදී මරණ ගෙවල් වලදී වැනි ලොකු කුඩා බාල මහළු සියල්ලන් එක් රොක් වන තැන් වලදී ඔවුන් සියල්ල දන්නා පඬියන් බව පෙන්වීමේ අරමුණින් දෙසා බානා මෝඩ ගොන් තකතීරු බූරු කතා ප්‍රශ්න කිරීමෙන් ඔවුන් අමාරුවේ නොදමා නිහඬව උපේක්ෂාවෙන් අසා සිටීමය.

ඒ දෙන ගරුත්වය හොඳටම ඇතිය. ඊට වඩා ගරුත්වයක් අපෙන් ඉල්ලන්නට ඔවුන්ට අයිතියක්ද නැත.

**එදිනෙදා ඇහෙන බොරු තව ඕනෑ තරම් ඇත. ඒවා ගැන කතා කිරීම පසුවටය.**


1 comment: